Sunday, May 14, 2017

මං මුලා වු සෙනෙහස

දවසක්දා මම දන්න කියන ගෙදරකට ගොඩ වැදුනා. ඒ ගෙදර ඉන්නෙ ආච්චියි සීයයි විතරයි මේ දවස් වල. ආච්චි කුස්සියෙ මේසය ලඟ  වාඩි වෙලා රෑට කන්න එළවළුවක් කපනව, සීය ලඟට වෙලා ඉන්නව එක අරන් ගිහින් ලිපෙ තියන්න, මොකද ආච්චිට ටිකක් ඇවිදින්න අමාරු නිසා. කතාවක් පටන් ගන්න ඕන නිසාම උයනව දැක දැකම මං ඇහුව මොකද කරන්නෙ ආච්චි කියල, ඒකට ආච්චි දීපු උත්තරේ තමයි මේ සටහනට නිමිත්ත උනේ. මගේ ප්‍රශ්නෙ හරිම සරල ප්‍රශ්නයක් උනාට, ඒ වචන දෙකට පුලුවන් උනා ආච්චිගෙ ඇස් වලට කඳුලු ගේන්න. ඇස් වල කඳුලු පුරව ගත්තු ආච්චි බැරැන්ඩි කටහඬකින් මට මෙහෙම උත්තර දෙනවා, "කවුරුහරි උයල දෙන දෙයක් කන්න ඕන කාලෙක, අපි තාම උයනව පුතේ. " ඒ උත්තරෙ අතුලෙ අපිට කතා කරන්න ගොඩාක් දේවල් තියනව කියල මට හිතෙනව.

මේ කාත්කවුරුත්  නැති දෙන්නෙක් නම් නෙවෙයි. ඔවුන්ට පුතාල තුන්කට්ටුවකුයි දුවෙකුයි ඉන්නවා. ලොකු පුතා, දුව දෙන්නම රට ගිහින්. අනිත් දෙන්න ලංකාවෙ. හතරදෙනම කසාද බැඳලා, ලමයි ලපටි ඉන්න අය. ආච්චියි සීයයි විතරයි ඉන්නෙ මහ ගෙදර. මේ කතාව මේ පවුලට විතරක් අදාල කතාවක් නෙවෙයි. මේ වෙනකොට බහුතරයක් වැඩිහිටියන්ගෙ ඉරණම මේක තමයි.

අපි අපිටම කතා කරමු. යමු අපේ ජිවිත වල මුලට.

යන්න තමන්ගෙ පුංචි කාලෙට. (මං මේ කතා කරන්නෙ day care center වල හැදුනු වැඩුනු සුළු පිරිසට නෙවෙයි. අද ඉන්න වැඩිහිටියන්ගෙ කාලෙ ඒක ලොකු fashion එකක් උනේ නෑ.) අපි හමෝම ලොකු මහත් වෙන්නෙ නිකන්ම නෙවෙයි. අපි කවුරු කවුරුත් මේ තැන් වලට ගේන්න අපේ දෙමව්පියන් අප්‍රමාණ දුක් විඳල ඇති. ටිකක් ඒ ගැන මතක් කරල බලන්න. හැමෝටම එක එක සිද්දි මතක් වෙයි. ටිකක් නවතින්න, හිතල බලන්න. 


අත දරුව කාලෙ ඉඳල තමන්ගෙ ලඟින් ඉඳල උස්මහත් කරල, ඉස්කෝලෙ යවල උගන්නල, තමන්ගෙ මට්ටමෙන් දෙන්න පුලුවන් හැමදේම කරල අන්තිමට කසාදත් බන්දල දෙනකන්ම්ම තමන්ගෙ දරුවන්ව ඇස් දෙක වගෙ බලා ගන්න අපෙ වැඩිහිටියො, මේ සේරම කරල ඉවර වෙනකොට එයාලගෙ කකුල් වාරු නැති වෙන වයසට ඇවිත්.එහෙම උනත් එයාල නවතින්නෙ නෑ. ලොකු පුතාගෙ ගෙදර ගිහින් මුනුබුරාව බලා ගන්න උදව් කරනව, දුවගෙ ගෙදර තව දවසක් යනව ගේ දොර බලා ගන්න. තාම එයාලගෙ වැඩ ඉවර නෑ.

මේ කාලෙ වෙනකොට තමයි අර අමාරුවෙන් උස් මහත් කරපු දරුවො තමන්ගෙ පවුල් ජීවිත ගැන හිතන කාලෙ. පිට රටවල් වල යනවා,  Business පටන් ගන්නවා, දෙන්න දෙමහල්ලොම රස්සවට යනවා, ගෙවල් හදනවා, වැඩ ගොඩයි. හැබැයි ඒ හැමොටම අමතක උනා මේ ලෝකෙ කැරකෙනව වගේම අපේ ජිවිතත් කැරකෙනව කියල. අපිට තව කවුරු හරි ඕන කාලෙ අපිට අපේ දෙමව්පියන් හිටිය වගේ, දැන් එයාලට කවුරුහරි ලඟින් ඉන්න ඕන කලෙ ඇවිත්. ඒත් ඒක එහෙමයි කියල මතක් වෙන්නෙ කීයෙන් කී දෙනාටද?

මගේ කතාවෙ නිමිත්තට ආපහු ගියොත්, ඒ ආච්චිටයි සීයටයි දෙන්නටම pension එක තියනව. ළමයි හැමෝමත් සල්ලි දෙනව. රට ඉන්න ඇත්තො අවුරුදු දෙකකට විතර සැරයක් අවිත් යනව. සමහර අය ඒ රටවලට ගිහිල්ලත් එනවා. ළමයි හිතන් ඉන්නව අපේ අම්මලට අපි සේරම කරා කියලා. ඒත් සල්ලි වලට වහන්න බැරි මහා ලොකු තනිකමකින් ඒ මිනිස්සු දුක් විඳිනව කියල දන්නෙ කියෙන් කී දෙනාද?

ඒක දැන ගන්න එකත් එච්චර ලේසි නෑ. හිතේ කැකෑරෙන වේදනාවට මේ වගේ වචනයක් දෙකක් පිට උනාට, තමන්ගෙ දරුවන්ට අබමල් රේනුවකින් හරි වරදක් වෙන වචනයක් පිට වෙන්නෙ බොහොම කලාතුරකින්. බලන්න එපැයි දරුවො ගැන කතා කරන උජාරුව. ඒ තරමට මේ අහිංසක දෙමව්පියන් තමන්ගෙ දරුවන්ට ආදරෙයි. තමන්ට මොනව නොලැබුනත් දරුවන්ගෙ දියුණුව දැකල සතුටු වෙන නිර්ලෝබී මිනිස්සු, ඔවුන්ට වාරු නැතත් තවමත් බලන්නෙ මට මොනවද පුතාල වෙනුවෙන් කරන්න පුලුවන් කියලා. මේ හැමදේකින්ම එයාල සතුටු උනත් අපේ අතින් වැසිය යුතු හිඩසක් තවමත් එයාලගෙ හිතේ තියනවා.

හැම යුතුකමක්ම සල්ලිවලට හිලව් කරන්න බෑ. මාසෙකට සැරයක් සල්ලි ටිකක් දුන්න කියලවත්, දවසකට දෙකකට සැරයක් call කරා කියවලත්, මසෙකට සැරයක් දොස්තර ලගට එක්කන් ගියා කියලවත් මේ අහිංසක මිනිස්සුන්ගෙ හිත් වල තියන පාළුව, තනිකම මකන්න අපිට පුලුවන් කියල මං හිතන්නෙ නෑ. කවුරු කැමති උනත් අකමැති උනත් මේ ගෙවෙන්නෙ ඒ අයගෙ සැදෑසමය. හැමදේටම වඩා එයාලට වටින්නෙ හිතේ සතුට. අපි කොච්චරනම් ආසද අම්ම උයපු බත් ටිකක් කන්න. තාත්තගෙ කරේ නැගල රවුමක් යන්න. ඒව එයාල බෑ නොකිය ඉශ්ඨ කරා.මොන තරම් වැඩ තිබුනත් අපි වෙනුවෙන් ඕනතරම කාලය තිබුන. දැන් එයාල බලාපොරොත්තු වෙන්නෙත් අන්න ඒ වගේ දෙයක්. 

තමන්ගෙ පුතෙක්ගෙ හරි දුවෙක්ගෙ හරි ගෙදරට වෙලා, එයාල කන දෙයක් කාල, ටිකක් කතා කර කර ඉන්න අකමැති මොන අම්ම තාත්තද? ඒක එයාලට මහමෙරක් තරම්. ලක්ෂ කෝටි ගනන් වියදම් කරල අතට පයට දැසි දස්සන් තිබ්බත් එයාලට මේ සතුට ලැබෙන්නෙ නෑ.ආයෙත් මුනනොගැසෙන්නටම එයාල යන දවසක් ඒවි. එදාට අහස දිහා බලන් කොච්චර ඇඬුවත් වැඩක් නෑ, තමන්ට තමගෙ අයව සතුටෙන් තියන්න බැරි උනානම්. 

ටිකක් හිතල බලන්න. ඔබ ඔබේ ජීවිතය උපරිමෙන් විඳිනව වෙන්න පුලුවන්. ඒත් ඔබට මේතරම් දුර එන්න පාර කියපු අය එක දශමෙකින් හරි විඳවනවානම්, ඔබ පරාදයි. ඔබේ හිතෙත් ඔවුන් ගැන ආදරයක් නැතුව නෙවෙයි. ඒත් ඒ අදරේ පෙන්නන්න ඔබට වෙලාවක් හොයා ගන්න බැරි උනානම්, ඔබ පරාදයි. ඔබට යුතුකම් මතක් වනවිට ඔබ ප්‍රමාද වෙන්නත් පුලුවන්.  

හිතන්න, මේ දැන් ආපසු හැරෙන්න. ඔබ එනතුරු බලා ඉන්න, ඔබට මගහැරුනු කෙනෙක් ඔබ පසුපස ඉන්නවාද කියා බලන්න. 

දෙන්න, එවැන්නෙක් සිටී නම් ඔවුන්ට සතුට දෙන්න. තමන්ගෙ කාලයෙන් පොඩි හෝ කාලයක් ඔවුන් වෙනුවෙන් වෙන් කරන්න. ඔවුන්ට තව දවසක් හරි වැඩියෙන් ජීවත් වෙන්න අවශ්‍ය ප්‍රානය දෙන්න. ඔවුන් හිතපුරා සතුටු වෙන දවසක ඔබ දිනුම්. එතෙක් ඔබ පරාජිතයෙක් විතරමයි. අමතක කරන්න එපා. අපටත් මෙහෙම දවසක් එනවා. එදාට අපිටත් මේ දුකටම මුහුන දෙන්න වෙනවා. තමන්ගෙන් මේ වැරැද්ද නොවෙන්නත්, තමන්ට මේ දුක නොදැනෙන්ටත් වෙන විදියට ජීවත් උනොත් ඔබත්, ඔබ වටා ඉන්න සියලු දෙනාමත් සතුටින් ඉදීවි. එතෙක් ඔබ පරාජිතයෙක් විතරමයි. දිනන්නට සිත් පහලවූවෙක් ඇත්නම් ඔබට ඒ සදහා ශක්තිය ලැබේවා!








මං මුලා වු සෙනෙහස

දවසක්දා මම දන්න කියන ගෙදරකට ගොඩ වැදුනා. ඒ ගෙදර ඉන්නෙ ආච්චියි සීයයි විතරයි මේ දවස් වල. ආච්චි කුස්සියෙ මේසය ලඟ  වාඩි වෙලා රෑට කන්න එළවළුවක්...